May 22nd, 2008 දා සටහන්

22
May

මිසිසිපි ඩෙල්ටා හා බ්ලූස් සංගීතය

    කාලීන ලිපි ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

ගිය සතියෙ කළාතුරකින් ලැබෙන අවස්ථවක් හම්බ වුනා. ඒ තමයි මිසිසිපි ඩෙල්ටා ප්‍රදේශය නරඹන්න යන්න. එහෙ තියනවා මා අධ‍්‍යාපනය ලබන සරසවියට අනයුක්ත කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයක්. ඉතිං එකත් බලල ඒ ආශිත ප්‍රදේශයත් චුට්ටක් ගියා බලන්න. ඒ හරියට මිසිසිපි ඩෙල්ටා කියල කිව්වට ඒ හරිය අපි දන්න ආකාරයේ ගඟක් මුහුදට වැටෙන ‍කොට ගඟ දෙකට බෙදිල හැදෙන ඩෙල්ටාවක් නෙමේ, නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ මිසිසිපි ගඟ පිටර ගලල රොන් මඩ හා අනෙකුත් දෑ තැම්පත් වෙලා ඉතාම සශ්‍රීක ප්‍රදේශයක් ‍නිර්මාණය වෙලා තියෙනව ගඟ මුහුදට වැටෙන්න පොඩ්ඩක් ඉහළට වෙන්න. ඒ හරිය තමා මිසිසිපි ඩෙල්ටා ප්‍රදේශය කියල කියන්නෙ. මෙම ඩෙල්ටා ප්‍රදේශය තියෙන්නෙ මිසිසිපි ප්‍රාන්තයේ වයඹ දෙසට වෙන්නයි. මම ඉන්න ප්‍රදේශයට සැතපුම් 135 පමණ බටහිරට වෙන්න තියෙන ස්ටෝන්විල් කියන නගරයෙ තමයි ඒ ආයතනය තියෙන්නෙ. පැය දෙකහමාරක් පමණ කලය ගතවෙනව එහෙට ලඟා වෙන්න.

මේ මිසිසිපි ප්‍රාන්තයට එම නම ලැබිල තියෙන්නෙත් ගඟ හින්ද තමයි. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මණ්තය මූලික කොට ගත් මිසිසිපි ප්‍රාන්තය බටහිර මායිමෙන් තමයි ගඟ ගලා යන්නෙ. මිසිසිපි යන්න රතු ඉන්දියානු නැතිනම් ඇමරිකා මහද්වීපයේ මුල් පදිංචි කරුවන්ගෙ වචනයක්. එහි තේරුම ‘සියළු ගංඟාවන්ගේ මව’ mother of all rivers යන්නයි. මිසිසිපි ප්‍රාන්තය තියෙන්නෙ ඇ. එ. ජ. හි දකුණට වන්නටය. උතුරින් ටෙන්නිසී ප්‍රාන්තයත්, නැගෙනහිරින් ඇලබාමා ප්‍රාන්තයත්, දකුණින් Gulf of Mexico යනුවෙන් හඳුන්වන කුඩා මුහුදු තීරුවකුත් ලූසියානා ප්‍රාන්තයේ කොටසකුත් පිහිටා තිබේ. මිසිසිපි ප්‍රාන්තයේ බටහිර මායිම වන්නේ මිසිසිපි ගඟ වන අතර ලූසියානා ප්‍රාන්තයේ තව කොටසකුත් ආකැන්සාස් ප්‍රාන්තයත් ගඟට එපිටින් තිබේ.

ඩෙල්ටා ප්‍රදේශය ගැන කතා කරන්න කලින් මිසිසිපි ගඟ ගැන චුට්ටක් කියන්නම්. ඇ. එ. ජ. හි දෙවන දිගම ගඟ වන අතර දිගම ගඟ වන්නේ මිසූරි ගඟයි. මිසිසිපි ගඟ අරම්භ වන්නේ කැනඩාවට මායිම්ව පිහිටි මිනසෝටා ප්‍රාන්තයේ ඉටැස්කා ජලාශයෙන් (Lake Itasca) වන අතර සැතපුම් 2300 පමණ මග ගෙවා ප්‍රාන්ත දහයක් පසු කර ලූසියානා ප්‍රාන්තයේ නිව් ඔලිඑන්ස් (New Orleans) නගරය අසළදී මුහුදට වැටේ. ඇමරිකාවේ දිගම ගඟ වන මිසූරි ගඟ ද මිසූරි ප්‍රාන්තයේ සෙන් ලුයිස් (St. Louis) නගරය අසළදී මිසිසිපි ගඟ හා එක්වේ. ඒ නිසා මිසිසිපි ප්‍රාන්තය අසලදි ඉතා විශාල ජල ධාරිතාවක් ගඟට දැරීමට සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිසිසිපි ගඟ පිටාර ගලනවා.

අතීතයේ දී මෙසේ ගඟ පිටාර ගලා ඩෙල්ටා ප්‍රදේශයම යට වන අතර දැන් කණ්ඬි හා ඇළ මාර්ග පද්ධතියක් (Levee system) නිසා ප්‍රදේශය යට වන්නේ නැත. මෙම ඩෙල්ටා ප්‍රදේශය පස ඉතාම සශ්‍රීක වන අතර දියළු පසෙහි ඝණකම අඩි 80ක් පමණ වෙනවා. කලිනුත් කිව්ව විධිහට මිසිසිපි කෘෂිකර්මික ප්‍රාන්තයකි. එහි කපු විශාල වශයෙන් වගා කරන අතර ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි, රට කජු හා වී ද වගා කරනවා. කපු හා සෝයා බෝංචි වගාවන් සඳහා මිසිසිපි ප්‍රාන්තය ප්‍රධාන තැනක් උසුලයි. මී‍ට අමතරව සත්ව පාලනය (poultry and cattle) ද මිරිදිය ධීවර කර්මාන්තයද ප්‍රධාන තැනක් ගනී. ඇමරිකාවේ ප්‍රධාන catfish (ලූලා වැනි මිරිදිය මත්ස්‍යයෙක්) සපයන්නා ද මිසිසිපි ප්‍රාන්තයයි. ඉහත භෝග මුළු මිසිසිපි ප්‍රාන්තය පුරාම පවතින අතර ඩෙල්ටා ප්‍රදේශයේ වී, තිරිඟු හා සෝයා කදිමට වැවේ.

මම බලන්න ගිය කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානය ලොව ඇති එවැනි විශාලතම එකක්. මෙය පිහිටවා තිබෙන්නේ 1904 වසරෙදි. මෙහි කපු, වී, සෝයා, ඉරිඟු හා catfish ගැන වැඩි පුරම පරීක්ෂණ කරනවා. මෙහි වී පිළිබඳව කර ඇති දෑ අති විශිෂ්ඨයි. විශේෂයෙන්ම ජාන තාක්ෂණය යොදා ගෙන කරන පරීක්ෂණ ප්‍රමුඛ ස්ථානය ගන්නවා. මීට අමතරව කෘෂිඋපකරණ, යන්ත්‍ර සූත්‍ර පිළිබඳවද පරීක්ෂණ පවත්වනවා. මෙම ආයතනය සතුව අක්කර 1650 ක වගා කරන භූමි භාගයකුත්, අක්කර 3000 ක කැළෑ භූමි භාගයකුත්, අක්කර 275 ක මිරිදිය මත්ස්‍ය පොකුණුත් තිබෙනවා. මේ තියෙන ෆ්ලෑෂ් රුප රාමු පෙල නරඹන්න එවිට ඔබට ආයතනය ගැන හොඳ වැටහීමක් ලැබේවි. ඉතිං දවසින් බාගයක්ම මධ්‍යස්ථානය බලල පිටත් උනා වටා පිටාව බලන්න.

මිසිසිපි ප්‍රධානයි නෙ කපු වලට. කපු වගාවට හා කර්මාණ්තයට මිනිස් ශ්‍රමය ඉතා විශාල ලෙස ඕනෙ. පැළ සිට වීමට, පෝර දැමීමට, වල් පැළ නෙළීමට, කපු නෙළීම, කැටීම ආදී එකී,‍ මෙකී, නොකී නොයෙක් දෙවල් වලට විශාල ලෙස මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. දැන් තමයි ඔය හැම දේටම යන්ත්‍ර සූත තියෙන්නෙ. මෙම යන්ත සූත්‍ර භාවිතා කරන්න පටන් අරං තවම අවුරුදු පනහක් නෑ. ඊට පෙර මේ සියළු දෑ කළේ වහල් ශ්‍රමය භාවිතයෙන්. අද අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානුවන් (African-Americans) ලෙස හඳුන්වන වර්ණයෙන් කළු හම ඇති මිනිසුන් ඇමරිකාවට මුලින් ම ගෙන අවේ වහලුන් ලෙසිනි. එක්දහස් අටසිය ගණන් වල සිට අවුරුදු 150 පමණ ‍ඇමරිකාව මෙම මිනිසුන් වහලුන් ලෙස සේවයේ යෙදුවා. කපු, ඉරිඟු, තිරිඟු යන වගා වලට වහල් ශ්‍රමය ‍ඉතා විශාල වශයෙන් යොදා ගත්තා.

මිසිසිපි ඩෙල්ටා ප්‍රදේශය ආශ්‍රිතව තමයි බ්ලූස් කියන සංගීත විශේෂය ඇති වෙලා තියෙන්නෙ. මෙම වහල් සමාජ වල හවසට වැඩ ඉවර වී විනෝද වීම පිණිස ඔවුන් යම් යම් ක්‍රියා කරකම් වල යෙදුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි බ්ලූස් සංගීතය බිහිවුනේ. අප්‍රිකානු ජන ගී හා නාද මාලා ද සමග අධ්‍යාපනයකින් තොර කඨෝර සමාජයක ප්‍රාථමික සංගීතයක් ද (ඉතාම ස්වල්ප වාදව භාණ්ඩ සහිතව ), දළ පද මාලවක් ද බ්ලූස් සංගීතයෙහි ඇතුලත් වුනා. මුල් කාලයේ බ්ලූස් සංගීතයෙහි මෙය කැපී පෙනෙන ලක්ෂණයක් වුනා.

පසු කාලීනව මෙම සංගීත ‍විශේෂය මහත් සේ ජනප්‍රිය වුනා. අදටත් එසේ මයි. අද බටහිර ජනප්‍රිය සංගීත වර්ග වන ජෑස්, හිප් හොප් හා රොක් ඇන් රෝල් ආදීයේ මූලය වූයේ ද මෙම බ්ලූස් සංගීතයි.