May 31st, 2008 දා සටහන්

31
May

ලූසියානා, නිව් ඔලිඑන්ස්, ජෑස් සංගීතය හා කතිරිනා

    කාලීන ලිපි ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

ලූසියානා ප්‍රාන්තය පිහිටා ඇත්තේ ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ දකුණට වන්නටය. දකුණින් Gulf of Mexico යනුවෙන් හඳුන්වන මුහුදත්, බටහිරින් ටෙක්සාස් ප්‍රාන්තයන්, උතුරින් ආකැන්සාස් ප්‍රාන්තයත්, නැගෙනහිරින් මිසිසිපි ප්‍රාන්තයත් ලූසියානා ප්‍රාන්තයට මායාම් වේ. අනෙකුත් ප්‍රාන්ත වලට වඩා ලූසියානා ප්‍රාන්තයට එයටම ආවේනික සංස්කෘතියක් ද, සංගීතයක් ද, අහාර රටාවක් ද, ඓතිහාසික වටිනාකමක් ද තිබේ. මෙයට පෙර සටහන් වල කතා කල පරිදි මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්ත වලට එම නම් ලැබී ඇත්තේ ස්වදේශික රතු ඉන්දියානු බසින් වුවත් ලූසියානා ප්‍රාන්තයට එම නම ලැබී ඇත්තේ ප්‍රංශ බසින් ය. ඇමරිකා මහද්වීපය ජනපදකරණය වන විට ලූසියානා ප්‍රාන්තය හා ඉන් ඔබ්බට වන මිසිසිපි ගං ජලාධාර ප්‍රදේශය අයත් වූයේ ප්‍රංශයට ය. එවකට ප්‍රංශයේ රජ කල දහහතර වන ලුවී රජුට ගෞරවයක් ලෙස මෙම ප්‍රාන්තයට ‍නම තබා ඇත. ප්‍රංශ බසින් La Louisiane යන්නට ලුවීගේ දේශය යන අරුත් දේ. එය Louisiana, ලූඊසිඇනා, ලුවීසියානා ලෙස ද උච්චාරණය වන අතර ලූසියානා ලෙස අපට හැඳින්විය හැක. මෙයට අමතරව නව ප්‍රංශය ‍නම් අන්වර්ථ නාමයෙන් ද හැදින්වේ. ලූසියානා ප්‍රාන්තයේ අහාර රටාව, සංස්කෘතිය හා ජන ජීවිතය දෙස බලන කල එහි ප්‍රංශ සම්භවය ‍වැදගත් තැනක් ගනී. අද ද ප්‍රංශ බස මෙහි බහුලව භාවිතා කරයි.

ලූසියානා ප්‍රාන්තයේ අගනුවර බැටන් රූජ් වන අතර විශාලම නගරය වන්නේ නිව් ඔලිඑන්ස් (New Orleans) නගරයයි. ඇ. එ. ජ. හි සැම ප්‍රාන්තයක්ම කුඩා ප්‍රාදේශීය පරිපාලන ප්‍රදේශ වලට බෙදා ඇති අතර ඒවා කවුන්ටි (counties) ලෙස හැඳින්වේ. නමුත් ලූසියානා ප්‍රාන්තයේ මෙම ප්‍රාදේශීය පරිපාලන ප්‍රදේශ හඳුන්වන්නේ පැරිශ් (parishes) ලෙස වන අතර එසේ වන්නේ ප්‍රංශයේ ද කුඩා පරිපාලන ප්‍රදේශ හඳුන්වන්නේ එම නමිනි. දැන් ඔබට සිතා ගත හැකිය ලූසියානා වලට ප්‍රංශ බලපෑම කෙතරම් ද කියා. වරක් නිව් ඔලිඑන්ස් නගරයේ පැවති සමුළුවකට සහභාගී විම සදහා මා එහි ගිය අතර සතියක පමණ කාලයක් එහි ගත කළේය. තවත් වරක් බැටන් රූජ් හි ලූසියානා සරසවියේ පර්යේෂණ කටයුතු කළ මාගේ ගුරුවරයකු බැලීම සඳහා මා එහි ගිය අතර පසුගිය නත්තල් සමයේ ලූසියානා ප්‍රාන්තයේ උතුරට වන්නට ඇති මැන්රෝ, රස්ටන්, ශ්‍රෙව්පෝට් යන නගර පසු කර ටෙක්සාස් ප්‍රාන්තය කරා ගියේය.

පසුගිය සටහන් වල හුඟක් මිසිසිපි ගඟ ගැන කතා කළා. කැනඩාවට මායිම්ව පිහිටි මිනසෝටා ප්‍රාන්තයේ ඉටැස්කා ජලාශයෙන් අරම්භ වන මිසිසිපි ගඟ සැතපුම් 2300 පමණ මග ගෙවා ප්‍රාන්ත දහයක් පමණ පසු කර ලූසියානා ප්‍රාන්තයේ නිව් ඔලිඑන්ස් නගරය අසළදී මුහුදට වැටේ. මුහුදට ආසන්නව තිබීම නිසාත් ප්‍රධාන වරායක් අසළ ඇති නිසාත් නිව් ඔලිඑන්ස් නගරය වැදගත් වේ. මීට අමතරව එය ලූසියානා ප්‍රාන්තයේ සංස්කෘතික නගරය ද වේ. මෙම නගරයේ අවුරුදකට වතාවක් පවත්වන උත්සව විශාල සංඛාවක් පවත්න අතර මාඩි ග්‍රාස් හා ජෑස් උලෙළවල් ප්‍රධාන තැනක් ගනී. මේ නිසා නිව් ඔලිඑන්ස් නගරය අවුරුද්දේ සෑම කාලයකම සංචාරකයන් ගෙන් පිරී පවතී. සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථාන අතර බාබන් වීදිය හා ෆ්‍රෙන්ච් ‍ක්වෝට’ යන තැන් වැදගත් කමක් උසුලයි. ෆ්‍රෙන්ච් ‍ක්වෝට’ නමින් හැඳින් වෙන චතුරශ්‍රය ඓතිහාසික වැදගත් කමක් උසුලන අතර ලූසියානා මුල්ම ජනාවාසය ඇතිවී ඇත්තේ මෙහි ය. සුප්‍රසිද්ධ ජෑස් සංගීතයේ අරම්භය ද නිව් ඔලිඑන්ස් හි සිදුවී තිබෙන අතර අද ද නිව් ඔලිඑන්ස් ජෑස්, බ්ලූස් සංගීතයට ප්‍රසිද්ධ ය.

නිව් ඔලිඑන්ස් නගරය හා ලූසියානා ප්‍රාන්තය සුවිශේෂී අහාර පාන වලට ප්‍රසිද්ධියක් උසුලයි. සමහර කෑම ජාති නිව් ඔලිඑන්ස් නගරයටම පමණක් විශේෂයි. මෙයට හේතුවක් තමයි මෙම ආහාර පාන වල ප්‍රංශ සම්භවය ය. සාමාන්‍යයෙන් ඇමරිකානුවන් සැරට, දැවිල්ලට කැම කන්නේ නැත. ඇමරිකන් අහාර වල කිසිම සැරක් නැති අතර ඒවාට වෙනමම රසක් තිබේ. ලූසියානා ප්‍රාන්තය සුවිශේෂී අහාර පාන වල මිරිස් සැර දැනෙන අතර සමහරක් ඉතා දැවිල්ල ය. ලූසියානුවන් සැර සෝස් වර්‍ග බහුලව භාවිතා කරන අතර සමහර සෝස් වර්‍ග ලූසියානා ප්‍රාන්තයටම සුවිශේෂී වේ. විශේෂයෙන්ම ඉස්සන් ඇතුළු මුහුදු ආහාර සඳහා නිව් ඔලිඑන්ස් ප්‍රසිද්ධයි. ඉතාම සැර විවිධ මිරිස් වර්‍ග හා කුළුබඩු වර්‍ග ලූසියානුවන් භාවිතා කරයි. ගම්බො කියන සුප් එකත් ජම්බලායා කියන බත් එකත් මගේ ප්‍රියතම ආහාර අතර වේ.

නිව් ඔලිඑන්ස් ප්‍රදේශයේ සංචාරය කරන විට දක්නට ලැබෙන දෙයක් තමයි මහා මාර්ග සියල්ලක්ම වාගේ ඉදි කර ඇත්තේ පොළොවෙන් උසට වන්නට පාලම් මතය. ඒ මොකද නිව් ඔලිඑන්ස් නගරය මිසිසිපි ගඟ පිටාර ගලන සිමාවේ පිහිටි නිසාය. අතීතයේ එය වගුරු සහිත බිමක් වුවත් දැන් කුඩා ‍වේළි හා ඇළ මාර්ග පද්ධතියක් (Levee system) මගින් ගං වතුර පාලනය කෙරේ. දැනට අවුරුදු තුනකට පමණ පෙර අගෝස්තුවේ ලූසියානා ප්‍රාන්තට පතනය වුණු කතිරිනා නම් වූ දැවැන්ත සුළි සුළඟ අතර තුර මෙම ‍වේළි හා ඇළ මාර්ග පද්ධතිය ක්‍රියා විරහිත වී ඉහල ගිය මිසිසිපි ග‍‍‍‍ඟේ ජලය නිසා මුළු නිව් ඔලිඑන්ස් ප්‍රදේශයම යට වුණු අතර ජීවිත විශාල සංඛාවක් නැති වුණා. මුහුදු රළ අඩි පහලොවක් තරම් උස වූ අතර කතිරිනා පැයට සැතපුම් 150 ක් පමණ වේගයෙන් හමා ගියාය. යමක් කමක් ඇති ඇත්තෝ කල් තියා ආරක්ෂාවට රට ඇතුලට ගිය අතර කිසිත් නැති ඇත්තෝ යන්නේ කොහිදැයි නොදැන කරගන්නට කිසිත් නොමැතිව සිටියා. අසරණුන් විශාල වහලයක් ඇති සුපර්ඩෝම් නැමති ගෘහස්ථ ක්‍රීඩාංගණයකට එක් රොක් වුණා. පනස් දහසකට පමණක් ඉඩ ඇති එහි ලක්ෂයකට වඩා සිටියා. කතිරිනා නම් වූ සොඳුරු නමකින් හැඳින්වූ මෙම බියකරු අති දැවැන්ත සුළි සුළඟ ඇති වූ දින රාත්‍රියේ මැදියම මුළු නිව් ඔලිඑන්ස් නගරයේම විදුලිය ඇහිටියා. කුඩා ‍වේළි හා ඇළ මාර්ග පද්ධතිය ක්‍රියා විරහිත වුණා. නගරයම කෙමෙන් කෙමෙන් මිසිසිපි ග‍ඟේ ජලයෙන් යට වෙන්න පටන් ගත්තා. හිටි හැටියේම අර ක්‍රීඩාංගණයේ වහලය ගැලවී ගියා. අනේ අර අසරණුන්!