June 20th, 2008 දා සටහන්
කතා කරන ඉරිඟු 2
මේ “කථා කරන ඉරිඟු” ලිපි පෙළේ දෙවැන්න ය. මෙහි පළමුවැන්නෙහි සඳහන් වුනේ ඉරිඟු වලින් ඇති ප්‍රයෝජන හා එය ලෝකයේ අර්ථිකයට ඇති බලපෑම ගැන ය. එහිදී අධිසාන්‍ද්‍ර ඉරිඟු පැණිය, සියයට සීයක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් විශේෂයක් හා ඉරිඟු භාවිතයෙන් සාදන ජීවඉන්ධන ගැන ද කතා වුනා.
ලෝක බලශක්ති අර්බුදය කියන්නෙ දැන් දැන් කරළියට පැමිණ ඇති උණුසුම් මාතෘකාවක් ය. වත්මන් ලෝකයේ ප්‍රධාන බලශක්තිය සපයන මාර්‍ගය වන්නේ ඛණිජ තෙල් ය. පොදුවේ ගත් කළ අපි මේවාට ෆොසිල ඉන්ධන යැයි කියමු. ෆොසිල ඉන්ධන වලින් පැට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ලිහිසි තෙල් (ස්නේහක) වැනි ද්‍රව ද, තාර ප්ලාස්ටික් වැනි ඝණ ද, මෙතේන්, එතේන්, L. P. ගෑස් ආදී වායුන් ද විවිධ රසායනික ද්‍රව්‍ය ද නිපදවයි. මීට අමතරව ගල් අඟුරු ද ෆොසිල ඉන්ධන ගණයට අයත් වේ. ප්‍රධාන වශයෙන් ෆොසිල ඉන්ධන යොදා ගැනෙනුයේ බලශක්තිය නිපදවීමට ය. ප්‍රධාන වශයෙන් ප්‍රවාහනයට ද විදුලිය නිපදවීම හා අනෙකුත් යන්ත්‍ර සූත්‍ර කියාත්මක කිරීමට ද ෆොසිල ඉන්ධන යොදා ගනී. නමුත් ලෝකයේ ෆොසිල ඉන්ධන ඇත්තේ සීමිත ප්‍රමාණයකි. දැනට ගණනය කර ඇති අන්දමට ෆොසිල ඉන්දන ඉතිරිව ඇත්තේ තව අවුරුදු පනහකට සරිලන ප්‍රමාණයකි. අද අප මුහුණ දෙන පරිදි දිනෙන් දින ඉන්ධන මිල ඉහල යන්නේ (මැදපෙරදිග දේශපාලන අර්බුදය හැරුණු කොට) මැදපෙරදිග රටවල් ඉන්ධන නිපදවීම සීමා කිරීමය. ඇන්ටක්ටිකාවේත්, ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළ තීරයේත්, ෆ්ලොරිඩා වෙරළ තීරයේත් ඉතා විශාල වශයෙන් තෙල් නිධි ඇතැයි අනුමාන කරන අතර යම් යම් නීති රෙගුලාසි හා පරිසර ප්‍රශ්ණ හේතු කොට ගෙන මෙම ප්‍රදේශ වල කැණීම් සිදු නොවේ. කෙසේ වෙතත් ෆොසිල ඉන්ධන මත තිරසාර බලශක්තියක් ලෙස විශ්වාසය තැබීම කළ නොහැකි බව ඔප්පු වී හමාර ය.
එසේ නම් තිරසාර බලශක්ති සඳහා කුමක් භාවිත කළ හැකි ද? වඩාත්ම හරිත (greenest) හා තිරසාර (sustainable) බලශක්ති ප්‍රභවය නම් සූර්ය ශක්තිය යි. මේ සඳහා සූර්ය ශක්තිය විදුලිය බවට පරිවර්තනය කිරීමත් ගබඩා කිරීමත් කළ යුතු වේ. සූර්ය ශක්තිය විදුලිය බවට පත් කෙරෙන්නේ සූර්ය කෝෂ වලින් වන අතර ගබඩා කෙරෙන්නේ විදුලි කෝෂ වල ය. අද පවතින තාක්‍ෂණය යටතේ නිපදවා ඇති සූර්ය කෝෂත්, විදුලි කෝෂත් එතරම් කාර්‍ය්‍යක්ෂම නැත. අප සාමාන්‍යයෙන් සූර්ය කෝෂ කියන්නේ සිලිකන් අර්ධ සන්නායක භාවිතයෙන් නිපදවූ කෝෂ (silicon-based photovoltaics) වලටය. සාමාන්‍ය අර්ධ සන්නායක සූර්ය කෝෂයකින් උකහා ගන්නේ එයට ලැබෙන සූර්ය ශක්තියෙන් 12% පමණි. දැනට 28% පමණ අගයකින් යුතු සූර්ය කෝෂ ද වෙළඳ පොළේ ඇති අතර ඒවා ඉතාම මිල අධික ය. මෙම අර්ධ සන්නායක සූර්ය කෝෂ වල කාර්ය්‍යක්ෂමතාව වැඩි කිරිම සඳහා විශාල වශයෙන් මුදල් ආයොජනය කරන අතර විශාල පර්යේෂණ ප්‍රමාණයක් ලහි ලහියේ සිදු කෙරේ. පසුගිය වසරේ දී Applied Physics Letters සඟරාවේ 38% කාර්ය්‍යක්ෂමතවකින් යුතු සූර්ය්‍ය කෝෂයක් වර්තා විය. තව අවුරුදු දහයක් ඇතුලත මෙම අගය 58% දක්වා වැඩි වේ යැයි අනාවැකි පළ කර ඇත. නමුත් තිරසාර භාවිතයක් උදෙසා අඩුම වශයෙන් 85% ක වත් කාර්ය්‍යක්ෂමතාවකින් යුතු සූර්ය කෝෂ තිබිය යුතුය. තවද මෙම සූර්ය කෝෂ වල නිෂ්පාදන වියදම අධිකය. දිනෙන් දින දැවෙන ඉන්ධන අර්බුදය හමුවේ මෙම අර්ධ සන්නායක සූර්ය කෝෂ භාවිතය බලශක්ති අර්බුදයට කෙටි කාළීන විසඳුමක් නොවන අතර වත්මන් අර්ධ සන්නායක සූර්ය කෝෂ බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් නොවේ යැයි විවිධ මත පලවී තිබේ.
සොබාදහමේ සොඳුරු නිපයුමක් වන ශාක වල ඇති හරිතප්‍රද සූර්ය ශක්තිය සියයට සියයක්ම පාහේ ප්‍රභා සංස්ලේශණය සඳහා ප්‍රයෝජනයට ගනී. මෙම හරිතප්‍රද, Chlorophyll, ප්‍රධාන අණුවේ ඇති පෝෆ්රින් (porphyrin) අණුව හා ඒ සමාන අණු භාවිතා කර සූර්ය ශක්තිය විදුලිය බවට පත් කිරීමේ ක්‍රම පිළිඹඳ පර්යේෂණ දැන් දැන් ලොව පුරා සීග්‍රයෙන් සිදු කෙරේ. මෙම අණු ආලෝකය නෙළා ගන්නා අණු (light harvesting molecules) ලෙස හැඳින්වේ. තවද කෘත්‍රිම ප්‍රභාසංස්ලේශණ සෛල (photosynthetic cells) හා ප්‍රභාවිද්‍යුත් අණු (photovoltaic molecules) මගින් ද සූර්ය ශක්තිය නෙළා ගැනීම සඳහා දැන් දැන් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. දැනට ප්‍රාථමික පර්යේෂණ මට්ටමේ පවතින මෙම සූර්ය ශක්තිය නෙළා ගන්නා ක්‍රම පිළිඹඳව ඉදිරියේ දී අපට මහත් විශ්වාසයක් තැබිය හැක. මෙම නව කාබනික සූර්ය කෝෂ නම්‍යශීල බව, සැහැල්ලු බව හා විවිධ වර්ණයන් ගෙන් යුතු වීම ආදී ගුණාංග නිසා සාම්ප්‍රදායික සූර්ය කෝෂ වලට වඩා ඉදිරියෙන් සිටී. තවද නැනෝ තාක්ෂණය භාවිතයෙන් ද සූර්ය ශක්තිය නෙළා ගන්නා උපාංග ද දැන් දැන් කරළියට පැමිනෙමින් තිබේ. කෙසේ වෙතත් නුදුරු අනාගතයේ දී මෙම කාබනික සූර්ය කෝෂ නොසෑහෙන මෙහෙවරක් ඉටු කරාවි.


