July 15th, 2008 දා සටහන්
කතා කරන ඉරිඟු 3
මේ “කතා කරන ඉරිඟු” ලිපි පෙළේ තෙවැන්න ය. ෆොසිල ඉන්ධන වල සීමාසහිත බවත් එහි ඇතිවන පරිසර හානියත් නිසා අප කෙමෙන් කෙමෙන් තිරසාර හරිත බලශක්ති ප්‍රභව සඳහා සුදුසු ආදේශක සොයමින් සිටී. සාම්ප්‍රදායික සූර්‍ය්‍ය කෝෂ වල ඇති අකාර්‍ය්‍යක්‍ෂම බවත් නව කාබනික සූර්‍ය්‍ය කෝෂ හෙවත් අලෝකය නෙළා ගන්නා වල ඇති සුවිශේෂත්වයත් පසුගිය ලිපියෙන් සාකච්ඡා කෙරුණි. අද ලිපියෙන් තවත් තිරසාර බලශක්ති ප්‍රභව සඳහා සුදුසු ආදේශකයක් ගැන සාකච්ඡා කරන්නයි අදහස. ඒ තමයි ඉන්ධන කෝෂ.
ඇත්තම කියනවනම් නුදුරු අනාගතයේ දීම හයිඩ්‍රජන් ප්‍රථමික බලශක්තිය ලෙස යොදා ගනීවි. මොකද හයිඩ්‍රජන භාවිත කර බලශක්තිය නිපදවීමේ දී පරසරයට අහිත කර දෑ පිටනොවන නිසාය. නමුත් අපි අද ෆොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් ආදී) භාවිත කරන ආකාරයට හයිඩ්‍රජන් කෙළින්ම
දාහක යත්‍රයක් තුල දාවා ශක්තිය නිපදවීමේ ක්‍රමයක් ගැන හිතන්න අමාරුයි, මොකද ඒ ක්‍රමය එතරම්ම කාර්‍යක්ෂම නොමැති නිසා. ලෝකයේ නොසිඳෙන බලශක්ති පිපාසය සංසිඳවන, පරිසරයට හිතකර ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් වලට ඇති ඉල්ලුම හා උනන්දුව දිනෙන් දින වැඩි වන අතර ඒහා සම්බන්ධ පරීක්‍ෂණ වලට ඉතා විශාල වශයෙන් මුදල් ආයොජනය කෙරේ. ඒ හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ (Fuel Cells) වල ඇති ප්‍රගතිය නිසාය. ඉන්දන කෝෂයකින් කෙරෙන්නේ හයිඩ්‍රජන් හා වාතයේ ඇති ඔක්සිජන් එකතුවෙන් විදුලිය නිපදවීමයි. දැන් දැන් ඉන්ධන කෝෂ වලින් දුවන වාහනද කරළීයට පැමිණ තිබේ. මෙම ඉන්ධන කෝෂ කාර්‍යක්ෂම මෙන්ම පරිසරයට හිතකර ද වේ.
ඒ සියල්ල එසේ තිබිය දී ඉන්ධන කෝෂ සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් තිබේ.
1) හයිඩ්‍රජන් නිපදවීමට එතරම් කාර්යක්ෂම ක්‍රමයක් තවම නොමැති වීම.
2) හයිඩ්‍රඩන් ප්‍රවායනයට ද කාර්යක්ෂම ක්‍රමයක් තවම නොමැති වීම.
3) හයිඩ්‍රජන් ගබඩා කර තැබීමට ද කාර්යක්ෂම ක්‍රමයක් තවම නොමැති වීම.
නමුත් මෙම ගැටළු විසඳීම සඳහා දැන් ලහි ලහියේ පර්යේෂණ කෙරෙමින් පවතී.
හයිඩ්‍රජන් වායුවක් නිසා ප්‍රවාහනයේ දී ගැටළු මතුවේ. නමුත් මෙතනොල් හො එතනොල් ප්‍රවාහනය කර අදාල ස්ථානයේදී (in situ) හයිඩ්‍රජන් නිපදවා ගැනීම එක් ක්‍රමයකි. නැතිනම් හයිඩ්‍රජන් වයුව Li2O වැනි පරමාණු ස්ථර අතර ඉඩ ඇති (inter layers) සිදුරු සහිත ඝන ද්‍රව්‍යක් තුලය රිංගවා ප්‍රවාහනය කර අදාල ස්ථානයේදී හයිඩ්‍රජන් මුදා ගැනීමයි. එසේම ශාකමය ද්‍රව්‍ය හෝ ග්ලූකෝස්, එන්සයිම මාර්ගයෙන් හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රියා වලියක් ගැනද දැන් දැන් අසන්නට ලැබේ. තිරසාර
හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම ලෙස මෙම දෙක පිළිඹඳව අප මහත් බලාපොරොත්තු තබා ඇත. නමුත් මේ සඳහා ස්ථිර ක්‍රමයක් දැනට නොමැත. හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම හා හයිඩ්‍රජන් තැම්පත් කර ගැනීමේ ක්‍රම පිළිඹඳව දැන් දැන් ඉතා අවශ්‍යතාව ඇති අතර අවධානයද යොමුවෙමින් පවතී. බිලියන ගණන් ඒ සඳහා ආයෝජනය කරන අතර දැන් දැන් හයිඩ්‍රජන් ඉන්ධන-කෝෂ වලින් දුවන වාහන හා උපාංග ද කරළියට පැමිණ තිබේ. GM, Honda, Toyota, Nissan ආදී ප්‍රමුඛ මෝටෝ රථ සමාගම් 2009 වසර සඳහා හයිඩ්‍රජන් ඉන්ධන-කෝෂ වලින් දුවන වාහන වගේම මුහුන් වාහන (hybrid) ද නිපදවා තිබේ.මෙම රූපයේ ඇති Honda වාහනයට ඉන්ධන-කෝෂ වලින් ජවය සැපයෙන් අතර මාදිලිය FCX Indy 2008 වසර වේ. මෙම ඉන්ධන-කෝෂ-වාහන සඳහා දැනට යටිතල පහසුකම් ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් වන අතර මේ වන විට එම ප්‍රාන්තයේ පමණක් මෙම ඉන්ධන-කෝෂ-වාහන අලවියට ඇත.
හයිඩ්‍රඩන් නිපදවීමේ තිරසාර ක්‍රමයක් ලෙස වාෂ්ප පිළිසැකසීම (Steam reforming) හැඳින්වි හැක. වාෂ්ප ක්‍රමයේදී එතනෝල්(C2H5OH) හෝ මෙතනොල් (CH3OH) හා ජල වාෂ්ප (H2O) එකිනෙක ක්‍රියාකර විශෘල වශයෙන් හයිඩ්‍රජන් (H2) හා CO2 සාදයි. ඉරිඟු වැනි ශාක ද්‍රව්‍ය වලින් ලබා ගන්නා ඇල්කොහොල මේ සඳහා භවිතා කරණ තුරු වාෂ්ප පිළිසැකසීමෙන් පිටවන CO2 පරිසර හිතකාමී ය. මෙයින් ලැබෙන හයිඩ්‍රජන්, ඉන්ධන-කෝෂ සඳහා භාවිතා කරන්නට පුළුවනි. මෙම වාෂ්ප පිළිසකසණය (Steam reforming reactor) හා ඉන්ධන-කෝෂය එක ඒකකයක් ලෙස සැකසීමට හැකිනම් මෙම ක්‍රමය ඉතා පහසුවෙන් වාහන වල භාවිතා කළ හැක. එවිට ඉන්ධන සඳහා අවශ්‍ය වන්නේ ජලය හා එතනෝල් පමණි. මෙම මෙහිදී ඉන්ධන-කෝෂයෙන් ජල වාෂ්පත්, වාෂ්ප පිළිසකසණයෙන් CO2 ත් පරිසරයට මුදා හැරේ. මෙම වාෂ්ප පිළිසැකසීමේ ක්‍රමය ඉතාම පරිසර හිතකාමී ය.


