23
May

The Way I See It #280

   සටහන තැබුවේ සහන්

බොහොම මහන්සි වෙලා ‍වැඩ කරන අතරෙ කෝපි එකක් බොන්න ඕන කියල ‘Starbucks’ එකට ගියා. එහි නා නා මාදිලියේ කෝපි වර්ග තියෙනවා. මම වඩාත් කැමති ‘Café Latté’ කියන කෝපි එකට. ස්ටා’බක්ස් එකේ කෝපි දාලා දෙන්නෙ අපූරුවට හදපු කඩදහි කෝප්පයක. ප්ලාස්ටික් හෝ රිජීෆෝම් කෝප්ප වල එහෙම නං නෙමේ. ඉඳල හිටල ස්ටා’බක්ස් එකෙන් කෝපි එකක් බිව්වට අර කඩදහි වලින් හදපු කෝපි කෝප්පය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවෙ නෑ. අද මට හිතුන කෝප්පයෙ මොනාද තියෙන්නෙ කියල බලන්න. එහි අපූරු අදහසක් මුද්‍රණය කරල තිබුනා. ‘The Way I See It’ කියල ලියල තිබ්බ එය 280 වැනි අදහස. මම හිතන්නෙ එක එක කෝප්ප වල වෙනස් දෑ තමයි මුද්‍රණය කරල තියෙන්නෙ. ජෝන් මෝ (John Moe) කියන ගත් කතුවරයෙක්ගෙ තමා මෙම අදහස. ආයෙ දවසක කෝපි එකක් බ්ව්වාම කියන්නංකො ඒකෙ ලියලා තිබ්බෙ මොනවද කියල.

You can learn a lot more from
listening than you can from talking.
Find someone with whom you
don’t agree in the slightest and ask
them to explain themselves at length.
Then take a seat, shut your mouth,
and don’t argue back.
It’s physically impossible to
listen with your mouth open.

John Moe
Radio host and author of Conservatize Me

.

[ad#referrals-box]

22
May

මිසිසිපි ඩෙල්ටා හා බ්ලූස් සංගීතය

   සටහන තැබුවේ සහන්

ගිය සතියෙ කළාතුරකින් ලැබෙන අවස්ථවක් හම්බ වුනා. ඒ තමයි මිසිසිපි ඩෙල්ටා ප්‍රදේශය නරඹන්න යන්න. එහෙ තියනවා මා අධ‍්‍යාපනය ලබන සරසවියට අනයුක්ත කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයක්. ඉතිං එකත් බලල ඒ ආශිත ප්‍රදේශයත් චුට්ටක් ගියා බලන්න. ඒ හරියට මිසිසිපි ඩෙල්ටා කියල කිව්වට ඒ හරිය අපි දන්න ආකාරයේ ගඟක් මුහුදට වැටෙන ‍කොට ගඟ දෙකට බෙදිල හැදෙන ඩෙල්ටාවක් නෙමේ, නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ මිසිසිපි ගඟ පිටර ගලල රොන් මඩ හා අනෙකුත් දෑ තැම්පත් වෙලා ඉතාම සශ්‍රීක ප්‍රදේශයක් ‍නිර්මාණය වෙලා තියෙනව ගඟ මුහුදට වැටෙන්න පොඩ්ඩක් ඉහළට වෙන්න. ඒ හරිය තමා මිසිසිපි ඩෙල්ටා ප්‍රදේශය කියල කියන්නෙ. මෙම ඩෙල්ටා ප්‍රදේශය තියෙන්නෙ මිසිසිපි ප්‍රාන්තයේ වයඹ දෙසට වෙන්නයි. මම ඉන්න ප්‍රදේශයට සැතපුම් 135 පමණ බටහිරට වෙන්න තියෙන ස්ටෝන්විල් කියන නගරයෙ තමයි ඒ ආයතනය තියෙන්නෙ. පැය දෙකහමාරක් පමණ කලය ගතවෙනව එහෙට ලඟා වෙන්න.

මේ මිසිසිපි ප්‍රාන්තයට එම නම ලැබිල තියෙන්නෙත් ගඟ හින්ද තමයි. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මණ්තය මූලික කොට ගත් මිසිසිපි ප්‍රාන්තය බටහිර මායිමෙන් තමයි ගඟ ගලා යන්නෙ. මිසිසිපි යන්න රතු ඉන්දියානු නැතිනම් ඇමරිකා මහද්වීපයේ මුල් පදිංචි කරුවන්ගෙ වචනයක්. එහි තේරුම ‘සියළු ගංඟාවන්ගේ මව’ mother of all rivers යන්නයි. මිසිසිපි ප්‍රාන්තය තියෙන්නෙ ඇ. එ. ජ. හි දකුණට වන්නටය. උතුරින් ටෙන්නිසී ප්‍රාන්තයත්, නැගෙනහිරින් ඇලබාමා ප්‍රාන්තයත්, දකුණින් Gulf of Mexico යනුවෙන් හඳුන්වන කුඩා මුහුදු තීරුවකුත් ලූසියානා ප්‍රාන්තයේ කොටසකුත් පිහිටා තිබේ. මිසිසිපි ප්‍රාන්තයේ බටහිර මායිම වන්නේ මිසිසිපි ගඟ වන අතර ලූසියානා ප්‍රාන්තයේ තව කොටසකුත් ආකැන්සාස් ප්‍රාන්තයත් ගඟට එපිටින් තිබේ.

ඩෙල්ටා ප්‍රදේශය ගැන කතා කරන්න කලින් මිසිසිපි ගඟ ගැන චුට්ටක් කියන්නම්. ඇ. එ. ජ. හි දෙවන දිගම ගඟ වන අතර දිගම ගඟ වන්නේ මිසූරි ගඟයි. මිසිසිපි ගඟ අරම්භ වන්නේ කැනඩාවට මායිම්ව පිහිටි මිනසෝටා ප්‍රාන්තයේ ඉටැස්කා ජලාශයෙන් (Lake Itasca) වන අතර සැතපුම් 2300 පමණ මග ගෙවා ප්‍රාන්ත දහයක් පසු කර ලූසියානා ප්‍රාන්තයේ නිව් ඔලිඑන්ස් (New Orleans) නගරය අසළදී මුහුදට වැටේ. ඇමරිකාවේ දිගම ගඟ වන මිසූරි ගඟ ද මිසූරි ප්‍රාන්තයේ සෙන් ලුයිස් (St. Louis) නගරය අසළදී මිසිසිපි ගඟ හා එක්වේ. ඒ නිසා මිසිසිපි ප්‍රාන්තය අසලදි ඉතා විශාල ජල ධාරිතාවක් ගඟට දැරීමට සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිසිසිපි ගඟ පිටාර ගලනවා.

අතීතයේ දී මෙසේ ගඟ පිටාර ගලා ඩෙල්ටා ප්‍රදේශයම යට වන අතර දැන් කණ්ඬි හා ඇළ මාර්ග පද්ධතියක් (Levee system) නිසා ප්‍රදේශය යට වන්නේ නැත. මෙම ඩෙල්ටා ප්‍රදේශය පස ඉතාම සශ්‍රීක වන අතර දියළු පසෙහි ඝණකම අඩි 80ක් පමණ වෙනවා. කලිනුත් කිව්ව විධිහට මිසිසිපි කෘෂිකර්මික ප්‍රාන්තයකි. එහි කපු විශාල වශයෙන් වගා කරන අතර ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි, රට කජු හා වී ද වගා කරනවා. කපු හා සෝයා බෝංචි වගාවන් සඳහා මිසිසිපි ප්‍රාන්තය ප්‍රධාන තැනක් උසුලයි. මී‍ට අමතරව සත්ව පාලනය (poultry and cattle) ද මිරිදිය ධීවර කර්මාන්තයද ප්‍රධාන තැනක් ගනී. ඇමරිකාවේ ප්‍රධාන catfish (ලූලා වැනි මිරිදිය මත්ස්‍යයෙක්) සපයන්නා ද මිසිසිපි ප්‍රාන්තයයි. ඉහත භෝග මුළු මිසිසිපි ප්‍රාන්තය පුරාම පවතින අතර ඩෙල්ටා ප්‍රදේශයේ වී, තිරිඟු හා සෝයා කදිමට වැවේ.

මම බලන්න ගිය කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානය ලොව ඇති එවැනි විශාලතම එකක්. මෙය පිහිටවා තිබෙන්නේ 1904 වසරෙදි. මෙහි කපු, වී, සෝයා, ඉරිඟු හා catfish ගැන වැඩි පුරම පරීක්ෂණ කරනවා. මෙහි වී පිළිබඳව කර ඇති දෑ අති විශිෂ්ඨයි. විශේෂයෙන්ම ජාන තාක්ෂණය යොදා ගෙන කරන පරීක්ෂණ ප්‍රමුඛ ස්ථානය ගන්නවා. මීට අමතරව කෘෂිඋපකරණ, යන්ත්‍ර සූත්‍ර පිළිබඳවද පරීක්ෂණ පවත්වනවා. මෙම ආයතනය සතුව අක්කර 1650 ක වගා කරන භූමි භාගයකුත්, අක්කර 3000 ක කැළෑ භූමි භාගයකුත්, අක්කර 275 ක මිරිදිය මත්ස්‍ය පොකුණුත් තිබෙනවා. මේ තියෙන ෆ්ලෑෂ් රුප රාමු පෙල නරඹන්න එවිට ඔබට ආයතනය ගැන හොඳ වැටහීමක් ලැබේවි. ඉතිං දවසින් බාගයක්ම මධ්‍යස්ථානය බලල පිටත් උනා වටා පිටාව බලන්න.

මිසිසිපි ප්‍රධානයි නෙ කපු වලට. කපු වගාවට හා කර්මාණ්තයට මිනිස් ශ්‍රමය ඉතා විශාල ලෙස ඕනෙ. පැළ සිට වීමට, පෝර දැමීමට, වල් පැළ නෙළීමට, කපු නෙළීම, කැටීම ආදී එකී,‍ මෙකී, නොකී නොයෙක් දෙවල් වලට විශාල ලෙස මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. දැන් තමයි ඔය හැම දේටම යන්ත්‍ර සූත තියෙන්නෙ. මෙම යන්ත සූත්‍ර භාවිතා කරන්න පටන් අරං තවම අවුරුදු පනහක් නෑ. ඊට පෙර මේ සියළු දෑ කළේ වහල් ශ්‍රමය භාවිතයෙන්. අද අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානුවන් (African-Americans) ලෙස හඳුන්වන වර්ණයෙන් කළු හම ඇති මිනිසුන් ඇමරිකාවට මුලින් ම ගෙන අවේ වහලුන් ලෙසිනි. එක්දහස් අටසිය ගණන් වල සිට අවුරුදු 150 පමණ ‍ඇමරිකාව මෙම මිනිසුන් වහලුන් ලෙස සේවයේ යෙදුවා. කපු, ඉරිඟු, තිරිඟු යන වගා වලට වහල් ශ්‍රමය ‍ඉතා විශාල වශයෙන් යොදා ගත්තා.

මිසිසිපි ඩෙල්ටා ප්‍රදේශය ආශ්‍රිතව තමයි බ්ලූස් කියන සංගීත විශේෂය ඇති වෙලා තියෙන්නෙ. මෙම වහල් සමාජ වල හවසට වැඩ ඉවර වී විනෝද වීම පිණිස ඔවුන් යම් යම් ක්‍රියා කරකම් වල යෙදුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි බ්ලූස් සංගීතය බිහිවුනේ. අප්‍රිකානු ජන ගී හා නාද මාලා ද සමග අධ්‍යාපනයකින් තොර කඨෝර සමාජයක ප්‍රාථමික සංගීතයක් ද (ඉතාම ස්වල්ප වාදව භාණ්ඩ සහිතව ), දළ පද මාලවක් ද බ්ලූස් සංගීතයෙහි ඇතුලත් වුනා. මුල් කාලයේ බ්ලූස් සංගීතයෙහි මෙය කැපී පෙනෙන ලක්ෂණයක් වුනා.

පසු කාලීනව මෙම සංගීත ‍විශේෂය මහත් සේ ජනප්‍රිය වුනා. අදටත් එසේ මයි. අද බටහිර ජනප්‍රිය සංගීත වර්ග වන ජෑස්, හිප් හොප් හා රොක් ඇන් රෝල් ආදීයේ මූලය වූයේ ද මෙම බ්ලූස් සංගීතයි.

20
May

හැමදෙයෙහි නියමුවකු වී

   සටහන තැබුවේ සහන්

පාසල් සමයේ දී ඉගෙන ගන්නවාට අමතරව අප බොහෝ දෑ කළා. විවිධ සංගම් වල සාමාජිකත්වය දැරූ අතර එවායේ පෙරමුණ ගෙන ක්‍රියා කළා. විශේෂයෙන් ම අවුරුද්කට වරක් තිබෙන කථික උළෙල, ජන මධ්‍ය දිනය, කළා උළෙල, විද්‍ය දිනය ආදී උත්සව වලදී. ඉතිං ඔවයේ සංවිධාන කටයුතු වලට හුඟක් කාලය වැය වෙන අතර සාමාන්‍යයෙන් පාසල් කාලය තුලදී සිදු කිරීමට සිදු වෙනවා. ඔය වගේ උත්සව පැවැත්වෙන කාළ වලදී අපව පන්ති කාමරය තුල සොයා ගැනීම නම් අමාරුයි. පන්ති කාමරය තුල නොසිටීම නිසාම මා හට පන්ති භාර ගුරුතුමාගෙන් ලැබුණු බැණුම් අපමණ ය. ඒ නිසා මා ලියු පද වැලක් එවකට ජන මධ්‍ය දින සමරු කළඹෙහි පළ උනා. මෙය ලියා දැනට අවුරුදු දාහතරක් පමණ වෙනවා. පරණ කඩදාසියක ලියු මෙහි දින යොදා ඇත්තේ 1994.05.13 වන දා ය.

හැමදෙයෙහි නියමුවකු වී
පියවර මනින පෙරටම
පාසල් පන්තියේ නොරැ‍‍‍‍‍ඳෙන විටදී …
ඇදුරිඳුන් විරසක පෑ මුත්
මාපියන් උරණ වූ මුත්
අනඳ මෑණියනි …
ඒ ඔබට ‍බැඳි සෙනෙහසින්
ඔබේ නාමය දසත පතුරවා
ලෝ බබළවන්නට බව
පහදා දෙනු මැනවී …

19
May

සිත පුරා සසළයි හැඟුම්

   සටහන තැබුවේ සහන්

හැම අවුරුද්දෙම වෙසක් එකට ඇට්ලන්ටා පන්සලට ගියා. ඒත් මේ පාර ඒක කරන්න බැරිව ගියේ මට මගෙ විෂය සම්බන්ධයෙන් පැවැත්වුන සමුළුවකට සහභාගී වීමට තිබුනු නිසා. පන්සල් යන්න බැරි වීම නං ලොකු පාඩුවක්. ජෝ’ජියා ප්‍රාන්තයේ අට්ලන්ටා පන්සල තියෙන්නෙ මා සිටින තැනට හැතැප්ම තුන්සීයක් පමණ ඈත. රිය පදවා ගෙන යනවා නම් පැය හයකට මදක් අඩු කාළයක් ගත වනවා. ඒ නිසා නිතරම පන්සල් යාමට හැකියාවක් නෑ. අවුරුද්දකට වරක් හෝ දෙවරක් තමයි පන්සල් යන්නෙ. හැබැයි ඇට්ලන්ටා අවට වෙසෙන අයට නම් පන්සල ලොකු භාග්‍යයක්. එහි හාමුදුරුවරු තුන් නමක් වැඩ වාසය කරන අතර ඉරිදා දිනයන් වල දහම් පාසලක් ද, හැම පොය දිනයකම සීල ව්‍යපාරයක් ද, කඨින පිංකම් ආදී වතාවත් ද සිදුවේ. උත්සහ කරල බලමු පොසොන් එකට වත් යන්න. ඔහොම ඉන්න අතර අහම්ඹෙන් වගෙ ලස්සන ගීතයක් අහන්න ලැබුන අද දවල්. ඒ ගීතය ගායනා කරන්නෙ හැරිස් විජේසිංහ සමග දීපිකා ප්‍රියදර්ශිණී පිරිස්. ගේය පද රවී සිරිවර්ධන වන අතර සංගීතය රෝහණ වීරසිංහ ගෙන් ය.

[flv:SithaPura.flv 425 355]

සිත පුරා සසළයි හැඟුම්
කඳුළු ඇස ගෙන දෙයි රිදුම
නොතේරෙන කවියක් වගෙ මට ජීවිතේ

නොගෙන සැක සංකා හිතින්
සිහි කරන් බුදු ගුණ නිතින්
නුඹේ සිත සංසුන් තැනක් වෙයි මගෙ දුවේ

තරඟ පිටියකි බලන දස අත
කෙලෙස ඉන්න ද ඉන් මිදී සතුටින්

නොයන් සසළව අවට ලොව දැක
ළගා කර ගනු ‍මැන දුවේ තෙරුවන්

අහිමි දා යස ඉසුරු අතමිට
ඉතිරි වෙද බිතුරූ වගේ මිතුරන්

නොවී දුක් හැසිරෙන්න දහමෙහි
තුණුරුවන් ගෙන එයි දුවේ සැනසුම්

පියකු දියණියකට දෙන ඔවදනක් ලෙස දිග හැරෙන මෙම පද වැල මානාව පෙළ ගස්වා ‍තිබේ. ඉතිං හිත පැහැර ගත්තු ගීතයක් දෙකකු ත් මගේ බ්ලොග සටහනේ තබන්නයි අදහස ෴

18
May

වෙසක් දිනය

   සටහන තැබුවේ සහන්

අවුරුද්දෙ දවස් 365න් මා කුඩා කළ ආසම දවස වෙසක් දවසයි. එයට හේතුව ඒ දවස් වල දැන නොදැනුනත් දැන් නම් තරමක් වැටහේ. සිංහල අවුරුදු කාළයත් වෙසක් කාළයත් තුල සිතට දැනෙන අරමුණ ඉඳුරාම වෙනස්. කුඩා දරුවකු ලෙස අවුරුදු කාලය තුල දවස තිස්සේම සෙල්ලම් කරනවාට වඩා වැඩි යමක් කරන්නේ නැත. (අවුරුදු අසිරිය හා කුඩා දරුවකු ලෙස ගත කළ සුන්දර අවුරුද්දෙහි අඩුවක් මින් නොකිය වේ.) නමුත් වෙසක් කාලය තුල ප්‍රායෝගිකව නිර්මාණශීලීත්වයට උරදෙන වැඩ වල යෙදෙනවා. උදාහරණයක් වශයෙන් වෙසක් කූඩු සෑදීම ගනිමු. ඉතාම සංයමයකින් මනස හසුරවමින් බට පතුරු එකිනෙක තබමින් වෙසක් කූඩුවෙහි සැකිල්ල සෑදිය යුතු වේ. එහි සව් කොළ ඇලවීම, රැළි කැපීම ආදිය ද සංයමයකින් හා එකාග්‍රතාවයකින් කළ යුතුයි. වෙසක් දිනය ලං වත්ම ‍පංසල හා ඒ අවට බෞද්ධ කොඩි එසවේ, සැම ගෙයකම ‍වැඩිහිටි, බාල සැවොම පංසල කේන්ද්‍ර වෙසක් සැමරීමට සැරසෙති. පෙහෙවස් සමාදන් වී දවස පුරාම පනසලේ ගත කිරීමත් සවසට වෙසක් කූඩු එල්ලීම, පහන් පත්තු කිරිම වැනි දැ කරනවා. පොදුවේ ගත් කළ අද මට දැනෙන වෙනස නම්, අවුරුද්දට ගැමි සුවඳත් වෙසක් වලට සිල් සුවඳත් දසත හමා අපව ප්‍රබෝධමත් කිරීම යි.