13
May

අත්හදා බැලීමක් පමණයි.

   සටහන තැබුවේ සහන්

දවසේ ඉසඹුවක් ලද හැම විටම වෙබ් අඩවියට කුමක් හෝ අත්හදා බැලීමක් කරනවා. මම ඉතිං කෝඩුනෙ තවම. කවියකට පෙම් බැඳ යන ඉතාම සිත්කළු වෙබ් අඩවිය තත්කාලීනව සම්බන්ධ කළා කැටපත් පවුරට. තවම නා නා විධ අත්හදා බැලීම් කරන අතර පොඩි පද වැලක් ආව හිතට.

හිතින් එක් තැන් වී
කිරි මුහුද කළඹලා
සරසවි වරම් ගෙන
ඉතිං අරඹමු බ්ලොග් කැටයම.

12
May

ආයුබෝවන්

   සටහන තැබුවේ සහන්

හාපුරාය කියල ඔන්න බ්ලෝග් එක ලියන්න පටන් ගත්ත. මීට අවුරුදු දහයකට දොළහකට පෙර නම් පාසලේ බිත්ති පුවත් පත්, සඟරා පුරාවට මා ලියූ දේ තියෙන්නට ඇති. කලා උලෙළ, කථික උලෙළ, ජන මාධ්‍ය දිනය, විද්‍යා දිනය ආදී පාසලේ තිබූ උත්සව වලදි නිසඟ හැකියවන් ගලා යන්නට ඇති. උසස් පෙළ සමත් වෙලා ආනන්දයෙන් පිට වෙද්දි ඒ ලැබූ පන්නරය ජීවිතේ පුරාවට ජවය දෙයි කියලා ඒ දවස් වල නම් හිතුනෙ නැහැ. කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන අවධියේදි සාහිත්‍ය නිර්මාණ පවස සංසිඳව ගත්තේ “වස්සානය” නම් වූ විද්‍යා පීඨ කලා උලෙළෙන්. නිර්මාණ කරණයෙන් හා කලාකාමී බවින් වියළී ගිය කොළඔ සරසවියේ විද්‍යා පීඨයට එය වස්සානයක් ම විය. ඉන් පසු එළ‍ඹෙන්නේ ඉඩෝරය. මේ කාලයෙදි මට සිද්ධ වෙනවා වැඩි දුර අධ‍්‍යාපනය සඳහා විදේශ ගත වන්නට. දැන් ඉමකට ලංව ඇති ඒ කාළය අවුරුදු පහක් පමණ වෙනවා. මේ කාළය තුල සිංහලෙන් යමක් ලියුවා නම් ඒ ලංකාවට යවපු සුබ පැතුම් පතක පමණකැයි කිවුවෝතින් එය අතිශෝක්තියක් නම් නෙමෙයි. දුරකථන හා අන්තර්ජාල පහසු කම් ‍තිබෙන නිසා දෙමාපියන්, හිතවතුන් ආදීන්ට කථා කරනවා විනා ලියන්නේ නැත. මීට අවුරුදු පහලොවකට, විස්සකට පෙර විදේශ ගතවූවන්ට නම් තත්වය මීට වඩා වෙනස්, මොකද අන්තර්ජාලය නොතිබීමයි. ඔවුනට ලිපියක් ලියනවා විනා වෙන විකල්පයක් තිබුනේ නැහැ. දුරකථනයෙන් ලංකාවට කථා කරනවාට වඩා අන්තර්ජාලය භවිතයෙන් කථා කිරීම හා විද්‍යුත් තැපැල ජනප්‍රිය වන්නෙ අර්ථික වශයෙන් ලාබදායී නිසාය. මගේ මිතුරු මිතුරියන් අතර සංනිවේදන මධ්‍ය නම් විද්‍යුත් තැපැල යි. මෙහි දී මා “how are you doing ?කියන වට වඩා “කොහොමද මචං තොරතුරු ?” කියා ලිවීමේ ඌනතා‍වයෙන් පෙළෙමිනුයි හිටියේ. කෙසේ හෝ සිංහල යුනිකෝඩ් සම්මතය නිසා මට යළි ලියන්න කියන්න නව පණක් ලැබුවා. ඔන්න මං ආයෙත් කැටපත් පවුර කියන නිදහස් අවකාශයේ පන්හිඳ හසුරවන්න ලියන්න පටන් ගන්නවා.

කාලෙක ඉඳල මගෙ හිතේ පොඩි අදහසක් තිබ්බා වෙබ් අඩවියක් පටන් ගන්න. එහි අන්තර්ගතය වෙන්න තිබ්බෙ ලාංකීය සිසු දරුවන්ට, විශේෂයෙන් ම සිය පළමු උපාධිය හදාරණ අයට එයට පසු වැඩි දුර අධ්‍යාපනය කෙසේද, එයට ඇති අවස්ථා මොනවාද, විදෙස් සරසවි වල ශිෂ්‍යත්ව හෝ ආර්ථික සහය ලබා ගන්නේ කෙසේද, ලංකාවේ දී ඒ සඳහා කළ යුත්තේ මොනවා ද යන්නයි. හුඟක් දෙනා නොදන්න කාරණයක් තමයි යම් යම් පරිසාධන විභාග ලංකාවෙදි කරල විදෙස් සරසවි වල අධ්‍යන කටයුතු කරන්න ශිෂ්‍යත්ව හෝ ආර්ථික සහය ලබන්න පුළුවන් බව. මේ විධිහට වෙබ් අඩවියක් අරඹන්න පසුබිම සකස් කරද්දි තමයි සමර බණ්ඩාර රත්නායකයන්ගේ කල්පනා තොටුපොල කියන් වෙබ් අඩවිය හමු වුනේ. එහි තිබිච්ච සොඳුරු බව නිසාම මටත් උනන්දුවක් ඇති උනා මගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න. තව දුරටත් කල්පනා තොටුපොල වෙබ් අඩවිය ඔස්සේ යද්දි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, සිංහල යුනිකෝඩ් සමූහය, විශේෂයෙන්ම සිත් ගන්නා වූ සිංහලෙන් පළ වූ බ්ලොග් විශාල සංඛ්‍යාවක් ගැන සොයා ගන්නට පුළුවන් වුනා. මේ අතර සිංහලෙන් ලිවීම සඳහා දායක වන හුඟක් දේත් දැනගන්න ට ලැබුනා.

මම අන්තර්ජාලය භාවිතා කළාට, එදිනෙදා කටයුතු වලට උදව් කරගත්තාට මා අන්තර්ජාලය පිළිබඳ දැනුමැත්තෙකු නෙමෙයි. ඉතිං යුනිකෝඩුත් බාගත කරගෙන, වෙබ් බ්ලොගුත් ඉගෙන ගෙන, වර්ඩ්ප්‍රෙස් එහෙමත් ඉගෙන ගෙන සෑහෙන පරිශ්‍රමයකින් කැටපත් පවුර වෙබ් අඩවියෙ ආකෘතිය නිම කළේ අද තමයි. මෙහි තව වැඩ කටයුතු ඉදිරියට තිබේවි. ඔන්න එහෙනං මා පළමු බ්ලොග් සටහන තැබුවා ෴